කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ ප්‍රබලයින් දෙදෙනකු අත්අඩංගුවට


( දිල්රුක්ෂි ග්‍රේරු)

බස්නාහිර පළාතට මහාපරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහරින ජාවාරමක නිරත වු කාන්තාවක සහ තවත් පුද්ගලයකු  පැලියගොඩ විශේෂ අපරාධ  විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
 
අත්අඩංගුවට ගත් දෙදෙනා  සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම  පාතාල නායකයකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ  ගෝලයින් දෙදෙනකු බවට තොරතුරු තහවුරු වී ඇතැයි පොලීසිය කියයි.
 
ආදුරුප්පුවීදීය පොලීසිය මගින්  අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත  රඳවා ප්‍රශ්න කරන  ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ  තෙරෙතුරු අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී හොරොයින් ජාවාරමට යොදාගත්  වැගන් ආර් වර්ගයේ  කාර් රථ තුනක් ,හෙරොයින් සහ මුදල් ගණන් කිරීමේ ඉලෙක්ට්‍රෝනික යන්ත්‍රයක්  පොලිස්බාරයට ගෙන ඇත.

 කොස්ගොඩ තාරක නැමැත්තාගේ දැනුම් දීම පරිදි හෙරොයින් ජාවාරම් සිදු කර ලැබෙන මුදල් රාත්‍රී කාලයේදී  පැලිගොඩ ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසේ සිට ගණනය කර පසුව කොස්ගොඩ තාරකගේ දැනුම් දීම මත එම මුදල් විවිධ  ස්ථානයන්ට ගොස් ලබා දෙන බවද අනාවරණය කර ගෙන ඇතැයි පොලීසිය කියයි.

එමෙන්ම  මුදල් ගණන් කිරීමේ පහසුව සඳහා  කොස්ගොඩ තාරක විසින් ලබා දී ඇති මුදල් එකතු කිරීමේ යන්ත්‍රය  මේ වන විට රඳවා ප්‍රශ්න කරන සැකකරු මාර්ගයෙන්  සැකකරුවන්ට ලබා දී ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී  ඇතැයි පොලීසිය කියයි.